
වයඹ පළාතේ කෘෂිකාර්මික සංවර්ධනයේ ප්‍රමුඛයා වන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රධාන වශයෙන්ම වී, අතිරේක ආහාර බෝග, එළවළු සහ පළතුරු නිෂ්පාදන ක්ෂේත්රයන් කෙරෙහි සිය විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරයි.
2026 වසරේ ආරම්භයත් සමඟ වයඹ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය වඩාත් සාර්ථකව හා ඵලදායී ලෙස ඉටු කිරීම උදෙසා නව සංවර්ධන සැලසුම් සකස් කරන ලදී.
දළ ජාතික නිෂ්පාදනයට (GDP) අතිමහත් දායකත්වයක් සපයන වයඹ පළාත, පුරාණ රාජධානි හතරකින් සමන්විත ඓතිහාසික වටිනාකමකින් යුත් ප්රදේශයකි. මෙවැනි සුවිශේෂී භූමියක, සම්ප්‍රදායික හා පාරිසරික ගොවිතැන් ක්‍රම මෙන්ම අතිනූතන කෘෂි තාක්ෂණයද එකිනෙක මුසු කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් අප දෙපාර්තමේන්තුව නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි.
කෘෂි නිෂ්පාදන ධාරිතාව හා එහි ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින්, නවීන තාක්ෂණය මුසු වූ “කෘෂි පුනරුදයක්” 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කර අවසන්ය.
වයඹ ගොවි ජනතාව මුහුණ දෙන කෘෂිකාර්මික ගැටළුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම් ලබා දීමත්, නවීන කෘෂි තාක්ෂණික ඥානය, නවීන ක්‍රමවේද හා යන්ත්‍රෝපකරණ ගොවි ජනතාව වෙත සමීප කිරීමත් අපගේ මූලික අපේක්ෂාවයි. විශේෂයෙන්ම, රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කර ගනිමින්, ආර්ථික වශයෙන් සාර්ථක හා වඩාත් ඵලදායී නවීන කෘෂි කර්මාන්තයක් වයඹ පළාත තුළ බිහි කිරීම සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සතුටින් යුතුව සඳහන් කරමි.
මෙම ප්රයත්නය සාර්ථක කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ අවධානය නොඅඩුව ලැබෙනු ඇතැයි මම දැඩි ලෙස අපේක්ෂා කරමි.
ආචාර්ය ඒ.එම්.බී.එන්. අබේසිංහ
පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (වයඹ)
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, කුරුණෑගල.


